ශ්වසන පද්ධතියේ ඇතිවන ආසාදන වළක්වා ගන්න මේ විදියට උගුර හොඳන්න.

සාමාන්‍යයෙන්, උගුරේ ආසාදනයක් ඇතිවිට උගුර සේදීමෙන්, රෝග ලක්ෂණ තරමක් සමනය වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. උගුර සේදීමෙන් ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීම වැලැක්වීමට සහ ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකි යැයි කිවහොත් ඔබ විමතියට පත් වේවි. උගුර සේදීම සම්බන්ධව කල පර්යේෂණ දෙකකින් මෙය තහවුරු වී තිබෙනවා.

ජපානයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ක්යෝටෝ විශ්ව විද්‍යාල පාසලේ (Kyoto University School of Public Health), මහජන සෞඛ්‍යය සහ අන්තර්ජාතික සෞඛ්‍යය පිළිබඳ දෙපාර්තමේන්තුවේ (The Department of Public Health and International Health) පර්යේෂකයන් පිරිසක් මෙයින් එක් පර්යේෂණයක් කර තිබෙනවා. ඔවුන් 2002 සහ 2003 වසර වල අධ්‍යයනය සිදුකර, එහි දත්ත 2003 සහ 2004 වසර වලදී විශ්ලේෂණය කර තිබේ. ඔවුන් මෙම අධ්‍යයනයට වයස අවුරුදු 18 ත් 65 ත් අතර සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් 387 ක් යොදාගෙන තිබෙනවා. පර්යේෂකයන් විසින් එම පුද්ගලයන් පිරිස අහඹු ලෙස කණ්ඩායම් තුනකට බෙදා ඇත. ඉන් එක් කණ්ඩායමක් පාලන කණ්ඩායම (Control group) ලෙස යොදාගත් අතර, අනෙක් කණ්ඩායම් වලට පිළිවෙලින් විෂබීජ නාශක දියරයක් වන, තනුක කරන ලද පොවිඩොන් අයඩින් (Povidone-iodine) වලින් සහ ඇල් ජලයෙන් අවම වශයෙන් දිනකට තුන් වරක්වත් උගුර සේදීමට නියම කලා. ඉන් අනතුරුව, පර්යේෂණයට සහභාගී වූ පිරිස දින 60 ක් තිස්සේ පරීක්ෂා කර ඇත. පාලන කණ්ඩායම අතර පළමු ශ්වසන ආසාදනය ඇතිවීමේ සාපේක්ෂ වාර ගණන (The relative frequency) පුද්ගල-දින (Person-days) 30 කට 0.26 ක් විය. තනුක කරන ලද පොවිඩෝන් අයඩින් දියරයෙන් උගුර සේදූ පිරිස අතර පළමු ශ්වසන ආසාදනය ඇතිවීමේ සාපේක්ෂ වාර ගණන පුද්ගල-දින 30 කට 0.24 ක් වූ අතර, ඇල් ජලයෙන් උගුර සේදූ පිරිස අතර පළමු ශ්වසන ආසාදනය ඇතිවීමේ සාපේක්ෂ වාර ගණන පුද්ගල-දින 30 කට 0.17 ක් විය. එමනිසා, ඇල් ජලයෙන් උගුර සේදීම, ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ ආසාදන ඇතිවීම වැලැක්වීම සඳහා ඵලදායී ක්‍රමයක් බව පර්යේෂකයන් තහවුරු කර ඇත.

ජපානයේ සර්වාංග රෝග පිළිබඳ හමමට්සු විශ්ව විද්‍යාල පාසලේ (Hamamatsu University School of Medicine), ප්‍රජා සෞඛ්‍යය සහ නිවාරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ (The Department of Community Health and Preventive Medicine) පර්යේෂකයන් පිරිසක් උගුර සේදීම පිළිබඳ අනෙක් පර්යේෂණය 2012 වසරේදී සිදුකර ඇත. ඔවුන් ජපානයේ ෆුකුඕකා (Fukuoka) නගරයේ ප්‍රාථමික පාසල් 145 කින් වයස අවුරුදු 2 ත් 6 ත් අතර දරුවන් 19,595 ක් මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර, එම දරුවන් දින 20 ක් තිස්සේ නිරීක්ෂණය කර ඇත. පර්යේෂකයන් දරුවන්ගෙන් දිනකට අවම වශයෙන් එක් වරක්වත් උගුර සෝදන ලෙස ඉල්ලා ඇත. හරිත තේ (Green tea) වතුරෙන් උගුර සේදූ දරුවන් අතර උණ රෝග වැළඳීමේ ප්‍රවණතාවය සැලකිය යුතු තරම් අවම (වාසි අවාසි අනුපාතය/Odds ratio = 0.32) විය. ආකලන ජලයෙන් (Functional water) උගුර සේදූ දරුවන් අතර වාසි අවාසි අනුපාතය 0.46 ක් වූ අතර, ඇල් ජලයෙන් උගුර සේදූ දරුවන් අතර වාසි අවාසි අනුපාතය 0.7 ක් විය. උගුර සේදීම මගින් උණ රෝග සෑදීමේ ප්‍රවණතාවය 1/3 ක් දක්වා අඩුකරන බව මෙම අධ්‍යයනයේදී පැහැදිළි වූ කරුණකි. එමනිසා, උගුර සේදීම, උණ රෝග වැලැක්වීමට ඵලදායී උපක්‍රමයක් ලෙස පර්යේෂකයන් නිගමනය කර ඇත.

උගුර සේදීම ඵලදායී වන්නේ ඇයි? මක්නිසාද, උගුර සේදීම නිසා උගුරෙහි ඇති බැක්ටීරියා, වෛරස, සහ දිළීර අඩංගු ශ්‍රාවයන් සේදී ඉවතට යයි.

* ආකලන ජලය (Functional water): පෝෂණ අගය වැඩිවන සේ යම් යම් ද්‍රව්‍ය එකතු කරන ලද ජලය

වෛද්‍ය නාලක ප්‍රියන්ත
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

[sg_popup id=2]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *