ඔබේ දරුවාට උණ හැදුන විට ඔබ කලයුතු මේ සත්කාර ගැන දැන්ම දැනුවත් වෙන්න.

උණ සහ ඔබේ දරුවා එකිනෙක සම්බන්ධ වන අවස්ථා පිළිබඳ අත්දැකීම් ඔබට ඇති බවට කිසිඳු සැකයක් නැහැ. ඇතැම් විට, ඔබේ දරුවා මුහුණ රතු වී, ඇඟ උණුසුම් වී, සහ දහඩියෙන් තෙත්වී අසනීප ස්වභාවයකින් සිටිනවා ඔබට මතක ඇති. ඔබ දරුවාගේ නළලට හෝ ශරීරයේ වෙනත් තැනකට අත තබා බලන විට උණුසුම මදක් වැඩිවී ඇති බවද වැටහෙන්නට ඇති. මෙවැනි වේලාවක ඔබ මුලින්ම සැක කරන්නේ දරුවාට උණ සෑදී ඇති බවයි. නමුත්, ඔබ මෙවැනි අවස්ථාවක මදක් දෙගිඩියාවට පත්වෙනවා නොඅනුමානයි. උණ කටුවෙන් උණ බලනවාද? දරුවාගේ ඇඟ තෙමනවාද? දරුවාට පැරසිටමෝල් ස්වල්පයක් දෙනවාද? නැත්නම් වෛද්‍යවරයෙක් ලඟට දරුවා ගෙනයනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඔබේ සිතට නැගෙනවා නිසැකයි., සෞඛ්‍ය සම්පන්න දරුවෙකුට උණ සෑදුනහොත්, එය බරපතළ දෙයක් නිරූපනය නොකරයි. නමුත්, ඔබේ දරුවාට උණ සෑදුන වහාම ඔබ කලබලයට හෝ බියට පත්වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. උණ නැමැති රෝග ලක්ෂණය හානිකර දෙයක් නොවෙයි. ඇතැම්විට, එය හොඳ ලක්ෂණයක් ද වියහැකියි. මක්නිසාද, උණ යනු ඔබේ දරුවාගේ ශරීරය යම් ආසාදනයකට එරෙහිව සටන් කරන බව හඟවන ලක්ෂණයකි. ඔබේ දරුවාට ඇතිවන සෑම උණකටම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නැහැ. නමුත්, තද උණට ඔබේ දරුවා අපහසුතාවයට පත්කරන්න වගේම විජලනයට ලක් කරන්නත් හැකියාව තිබෙන බව මතකයේ තබාගත යුතුයි., ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන හයිපෝතැලමස නැමැති කොටසක් මොළයේ තිබෙනවා. උණ ඇතිවන්නේ මේ කොටස ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය එයට වඩා වැඩි අගයකට පත්කිරීම නිසා. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් හෝ ෆැරන්හයිට් අංශක 98.6 ක් වෙනවා., සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වය දවසේ කාලය අනුව මදක් වෙනස් වේ. උදෑසනදී ශරීර උෂ්ණත්වය මදක් අඩුවන අතර සවස් කාලයට මදක් වැඩිවෙනවා. ඔබේ දරුවා දුවන පනින විට, සෙල්ලම් කරන විට, සහ ව්‍යායාම කරන විට මදක් ශරීර උෂ්ණත්වය වැඩිවෙන්න පුලුවන්., ඇතැම්විට, ආසාදනයක් ඇතිවිට, වෙනත් රෝගයක් නිසා, හෝ වෙනත් හේතූන් මත හයිපෝතැලමස ශරීරයේ උෂ්ණත්වය වැඩි අගයකට පිහිටුවන්න පුලුවන්. මෙසේ වන්නේ ඇයි? ශරීරයේ උෂ්ණත්වය වැඩිවීමෙන්, රෝගකාරක වලට එරෙහිව කාර්යක්ෂමව සටන් කිරීමට ශරීරයට පහසු වෙන අතර, රෝගකාරක වල පැවැත්මට නුසුදුසු පරිසරයක් ද ඇතිකරනවා., උණ සෑදුන විට දක්නට ලැබෙන ලක්ෂණ, දරුවා කලබල වීම හෝ නොරුස්සනා සුලුබව, අපහසුවෙන් පසුවීම, ශරීරය ස්පර්ශ කරනවිට උණුසුම්ව දැනීම,සම රතු පැහැවීම,වරින්වර දහඩිය දැමීම
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?, දරුවා පාසලට, පෙර පාසලට, හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයවා අවම වශයෙන් පැය 24 ක් වත් උණ නොමැතිව (ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයක) පවතින තෙක් නිවසේ තබාගන්න., විජලනය වියහැකි බැවින්, වැඩිපුර දියර වර්ග බීමට දෙන්න., දරුවාගේ බරට සහ වයසට සරිලන මාත්‍රාවට අනුව පැරසිටමෝල් ලබාදෙන්න., ඉබියුප්‍රොෆන් (Ibuprofen), මෙෆෙනමික් ඇසිඩ්(Mefenamic acid), ඩයික්ලොෆෙනැක් (Diclofenac), ඇස්පිරින් (Aspirin) වැනි ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal Anti-inflammatory Drugs/NSAIDs) ලබාදෙන්න එපා., උෂ්ණත්වය පහළ දැමීමට කොලෝන් වර්ග හෝ සීතල ජලය භාවිතා කරන්න එපා. ඒ සඳහා කාමර උෂ්ණත්වයේ ඇති ජලය භාවිතා කරන්න., දරුවාට සැහැල්ලු ඇඳුමක් අන්දවන්න. හැකිතරම් ශරීරය නිරාවරණය වනසේ තබන්න., දරුවාට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. දරුවා අවට වාතය හොඳින් සංසරණය වනසේ විදුලි පංකාවක් ක්‍රියාත්මක කිරීම ද කල හැක., දරුවා විවේකයෙන් තබන්න., දරුවාට අපහසුතාවයකින් තොරව ආහාරයට ගතහැකි ආහාර පමණක් දෙන්න. දරුවා කැමති ආහාර ගැනීමට ද ඉඩ සලසන්න. දරුවා අකමැති හෝ දරුවා ප්‍රතික්ෂේප කරන ආහාර ගැනීමට දරුවාට බලකරන්න එපා., දරුවාට උණ සමග වමනය සහ/හෝ දියර ලෙස මළපහ පිටවීම ඇත්නම්, මුඛ සජලන දියර (Oral re-hydration solution, උදාහරණ: ජීවනී) දිය යුතුදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.
උණ ඇති ඔබේ දරුවා වෛද්‍යවරයෙකුට පෙන්විය යුත්තේ කුමන අවස්ථා වලදීද?, මාස තුනට වඩා අඩු ළදරුවෙකුට ෆැරන්හයිට් අංශක 100.4 (සෙල්සියස් අංශක 38) ට හෝ වැඩියෙන් උණ ඇත්නම්,, දරුවා දැඩි අසනීප ස්වරූපයක් පෙන්වයි නම්,, ශරීරයේ ලප මතුවී ඇත්නම්,, දිගටම පවතින වමනය යෑම සහ/හෝ දිගටම පවතින දියර ලෙස මළපහ පිටවීම., විජලනය වී ඇත්නම්, එනම් මුත්‍රා පිටකිරීම අඩුවීම (වාර ගණන හෝ පිටකරන මුත්‍රා ප්‍රමාණය), අඬන විට කඳුළු නොමැතිවීම, අවධානය අඩුවීම, වෙනදාට වඩා අක්‍රීය ලෙස සිටීම, තොළ කට වියලී තිබීම වැනි ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබේ නම්,, දිගටම පවතින හෝ වරින්වර ඇතිවන උණ දින දෙකකට වඩා පවතී නම්,, දරුවාට දෑකැති සෛල රක්තහීනතාවය (Sickle cell anaemia), හදවත් රෝග, පිළිකා, දිගුකාලීන සහ දරුණු සන්ධිප්‍රදාහයක් (Arthritis) සහිතව ඇතිවන ස්ව-ප්‍රතිශක්ති රෝගයක් (Auto-immune disease) වන සංස්ථෙමක රක්තිමා ලියුපසය (Systemic lupus erythematosus/SLE) වැනි දිගුකාලීන කායික රෝගයක් ඇත්නම්,, උණ සෑදීම වැලැක්විය නොහැක. ඔබ කලයුත්තේ උණ අඩුවන තෙක් දරුවාට හැකිතරම් සුවපහසු ලෙස සිටීමට අවකාශය සැලසීමය. උණ සෑදුන ඔබේ දරුවා වෛද්‍යවරයාට පෙන්විය යුතු අවස්ථා නිවැරදිව හඳුනාගැනීම ද ඉතා වැදගත් වේ
වෛද්‍ය නාලක ප්‍රියන්ත
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

[sg_popup id=2]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *